බෙදා හදා ගැනීම

ඉස්සර සමාජයෙ ගෙදරක කවුරු මොන කෑමක් බීමක් හැදුවත් ගෙදර ඉන්න එක් එක් සාමාජිකයගෙ කොටස වෙන් කරල තියෙනව ඒ අය පැමිණි පසු දෙන්න. ඒක ප්‍රධාන කෑම වේලේ පටන් දිවුල් සම්බෝලය දක්වා ඒ විදියටම සිද්ද වුණා. කිසිම විදියකින් තනියම කෑමක් බුක්ති විඳීමක් ගැන ඒ අය හිතුවෙ නෑ.

 

අද අපි තනි තනියම කෑමබීම ගැන හිතනවා. තනියෙන් කෑමබීම හදා ගන්නවා. තනියෙන්ම ඒවා බඩට දා ගන්නවා. කඩේකින් කෑමක් බීමක් ගත්තත් ඒවා තමන්ට විතරයි. තනියෙන් හම්බ කරනවා. තනියෙන් වියදම් කරනවා. තනියෙන් ජීවත් වෙනවා. අන්තිමට තනියෙන්ම මැරිල යනවා.

 

අපි අපේම ගේ ඇතුළෙ ප්‍රායෝගිකව නොකරන දෙයක් සමාජයෙන් බ;ලාපොරොත්තු වෙන්න පුළුවන් ද ? සමාජයෙ අසවලා මට මේ විදියට උදව් කළේ නැත, අසවලා මට මේ විදියට උදව් කළේ නැත කියලා අනුන්ට චෝදනා කරන්න අපට පුළුවන් ද ?

 

සමාජය කියන විහාල කුලකය හැදිල තියෙන්නෙ අපේ ගෙවල් කියන කුඩා කුලකවලින්. අපේ ගෙවල් කියන කුඩා කුලකවල නැති ගුණයක් ඒ කුලකවලින් හැදිල තියෙන විශාල කුලකයෙ තියෙන්න පුළුවන් ද ?

 

අපේ ගෙවල් කියන කුඩා කුලකවල තියෙන හොඳ ගුණ දවසෙන් දවස වැඩි කර ගනිමු. එක දවසක, කවදා හෝ එක දවසක, සමාජය කියන විශාල කුලකය අර විදියෙ හොඳ ගුණ ඇති ගෙවල්වලින් පිරී ඉතිරී යන තෙක්, අපි අපව පාලනය කරන්න කියලා තෝරලා යවන අය මේ ගුණ සහිත ගෙවල්වලින් තේරී පත් වන තෙක් මේ උත්සාහය අත් නොහරිමු.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

Leave a comment