නින්ද හා මරණය

මේ ගැන මම ඉංග්‍රීසියෙනුත් ලිපියක් ලිව්ව. ඇත්තටම ඒක තමයි මගෙ පළමු ලිපිය. අපේ ආයතනයෙ සාමාන්‍යාධිකාරී තුමාගෙන් මම ඇහැව්ව මේ බ්ලොග් එකක් හදන හැටි ගැන. එයා ඒක කියා දුන්න. එතකොට ටෙස්ට් කරන්නත් එක්ක දාපු ලිපිය තමයි ඒ. ඒත් මං ලියන සමහර දේ ට දාන Comments හන්ද මට හිතුන ඒ ලිපිය ආපහු ලියන්න.

අපි නිදා ගන්න බය නෑ නෙ. අපි හොඳටෝම දන්නා, ඊළඟ දවසෙ අපි නැගිටින බව. ඒ එක්කම හිතෙත් කයෙත් තියෙන මහන්සි ඔක්කෝම සැප නින්දකින් ඇරිල යනව. අපි ඒක අත්දැකීමෙන් ම දන්නව. ඒ හන්ද අපි රෑ වෙනකොට බලා ඉන්නෙ කොයි වෙලාවෙද නින්දට යන්නෙ කියල.

ඒත් කාලයක් මැෂිමක් උනත් වැඩ කරන කොට කෑලි ගෙවෙනව. කොයි මැෂිමක් වුණත් එහෙමයි. එතකොට අපි අළුත් කෑල්ලක් දානව, පරණ කෑල්ල වෙනුවට. හැබැයි මුළු මැෂිමම දිරාපත් වුණොත් ? එහෙම් වෙන වෙලාවලුත් තියෙනවා.

ඒ වගේම අපේ මේ සරීර කූඩුවත් කාලයක් වැඩ ගන්න කොට ගෙවිල යනව. එතකොට අපට පුළුවන් වෙන්න ඕනෙ හොඳ මැෂිමක් හොයා ගන්න. ඒත් පුදුමෙ තියෙන්නෙ නිදා ගන්න බය නැති මිනිස්සු මැරෙන්න බයයි. ඇයි ඒ ?

මං හිතුවෙ ආයෙ ඇහැරෙන එකක් නෑ කියන බය වෙන්න ඇති කියල. ඒත් සමහරු කිව්වෙ අපි ඇහැරෙන බව දන්නවා. ඒත් කොහෙ කවුරු වෙලා ඇහැරෙයි ද කියන එකයි දන්නෙ නැත්තෙ කියල. අපොයි බය වෙන්න දෙයක් නෑ. තමන් පුරුදු පුහුණු කළ දේවල හැටියට ඒකට ගැලපෙන පරිසරයක් තමා අපට ලැබෙන්නෙ.

සමහර වෙලාවට තරුණ කෙනෙක්ට, මේ ලියන සමහර අදහස් තේරුම් ගන්න බැරි වේවි. සමහර දේවල් තියෙනවා නොතේරෙන තරමට හොඳයි. මං හිතන්නෙ ජීවිතේ සමහර දේවලුත් ඒ වගෙයි.

ඉතින් පරණ කමිසය ඉරුණු කෙනෙක් ඒ කමිසය අහක දාලා අළුත් කමිසයක් ගන්න හදන උත්සාහය දිහා අපි බලන විදියට හැම දේ ගැනම බලන්න පුළුවන් නම් ? පෝඩ්ඩක් හිතන්න.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

7 Responses to නින්ද හා මරණය

  1. ```Outsider``` says:

    ඒක හරි පරණ වුණාට පස්සෙ බදාගෙන ඉන්න එක තේරුමක් නෑ. අලුත් එකකට මාරු වෙන එක ‍හොඳයි. ඒත් වෙළඳපොළේදී වගේ තෝරාගැනීමේ නිදහසක් තියෙන එකක් නෑ ලැබෙන එක භාර ගන්න වෙයි.

    • kumudupinto says:

      ඇයි අපිට තෝර ගන්න බැරි ? මං නම් හිතන්නෙ අපි මෙහෙදි වැඩියෙන් පුරුදු පුහුණු වන දේ ට හිතන පතන දේට ගැලපෙන විදියටයි ඇඳුම ලැබෙන්නෙ කියල. හැබැයි බැරි වෙලාවත් හොඳ ගුරුවරයෙක් හම්බ වුණොත් ඊටත් ලස්සණ ඇඳුමක් හදා ගන්න බැරි වෙන එකක් නෑ.

  2. චරිත says:

    තමන් වපුරපු දේ තමයි අන්තිමට නෙලාගන්න ලැබෙන්නේ.

  3. සරත් ගුණතුංග says:

    මම දන්න තරමින් නින්ද හා මරණය ගැන ලියන්නෙ බෞද්ධ දර්ශනයේ පසුබිම මතය. මම විස්වාස කරන අන්දමට සත්‍යතාවයද මෙහි ගැබ් වී ඇත. නින්ද හා මරණය එක අතකින් බොහෝ දුරට සමානත්වයක් පෙන්වයි. එසේම වෙනස් කම් කිහිපයක්ද ඇත. මෙය ඉතාමත් ගැඹුරුය. වචන ස්වල්පයකින් විස්තර කිරීමට පවා අපහසුය. ඒ නිසා උදාහරණයක් ගෙන එය විමසා බලමු. අපි මරණයට බය “අවිද්‍යාව” නිසාය. මෙහි අවිද්‍යාව වශයෙන් හඳුන්වන්නේ සැබෑ තතු නොදත් කමය. අපි අත සලකා බලමු. අත මිට මොලවා දිග හැරීම ගැන සිතුවොත්.. ” ඕක මොකක්ද? මම ඊයෙත් ඕක කලා, දැනුත් කරන්න පුලුවන්, හෙටත් පුලුවන්..” ඔය වශයෙන් අපට සිතෙනවා නේද? මේක තමයි ප්‍රශ්නය. එතැනට අපි විසින්ම ‘මම’ කෙනෙක් පත් කරල මගේ අත වශයෙන් හඳුන්වාගෙන ක්‍රියා කරනව. ඔය අත මිට මොලවන ක්‍රියාවේ, බුදු රජානන් වහන්සේගේ දේශනා වලට අනුව ඇත්තේ පුද්ගලයෙක් නොව මනෝ භෞතික (psycho-physical) ක්‍රියා කාරිත්වයක් පමණයි. ඒක අවබෝධයෙන් වටහා ගත් දවසට ඔය සියලු බිය සැක දුරු වෙනවා. පොත් වලින් ගත් දැනුම නෙවෙයි.., අවබෝධයෙන් ලබා ගත් අත් දැකීම. කරුණු සිදුවන්නෙ මෙහෙමයි. 1. චේතනාවක් එනව විඤ්ඤාණයෙන් ‘නවන්න, නවන්න කියල. 2. එතකොට රූප ස්කන්ධයේ ක්‍රියා කාරිත්වයෙන් අත මිට මෙලවෙනව. 3. ඒක සිදුවුනාට පසු සිතට සතුටක් (සංඤ්ඤා ස්කන්ධය ) හෝ කැක්කුමක් හෝ උපේක්ෂා සහගත දැනීමක් එනව. දැන් හොඳයි, කැක්කුම නැහැ හෝ තවමත් රිදෙනව ආදී වශයෙන්. එතකොට මේ ස්කන්ධයන් සියල්ල ඇති වී නැති වී යන දේවල් අපි දකින්නේ නිත්‍යතාවයක් ඇති දේවල් වශයෙන්. හෙටත් තව හොඳට පුලුවන් වෙයි ආදී වශයෙන් ආශාවකුත් / ඝට්ටනයකුත් ඇතිවෙන්න පුලුවන් (තණ්හාව ) මෙතන පුද්ගලයෙක් ඉන්නවද? අපේම මනස විසින් ‘මම’ හදා ගෙන තියෙන්නෙ. ඇතේ පංචස්කන්ධයේ ක්‍රියා කාරිත්වයක් පමණයි.මේ ස්කන්ධම නින්දේදී ක්‍රියා විරහිත වෙනව. මරණයේදිත් ක්‍රියා විරහිත වෙනව. මරණයේදී බොහෝ විට කොටස් කොටස් වශයෙන් ක්‍රියා විරහිත වෙනව. මේ නිසා භව තණ්හාව ඇති වෙනව. බුදු රජානන් වහන්සේ මේ පන්චස්කන්ධය මෙනෙහි කොට ව්දර්ශනා භාවනාව වඩන්න කිව්වෙ, එතකොට මේ සිදුවීම් පැහැදිලිව පෙනෙන නිසා. සියලු ධර්මතාවයන් නිමේශයකින් ඇතිවී නැති වී යන බවත් උන්වහන්සේ දේශනා කරල තියෙනව. ඒ බව අත් දැකීම් වලින් ප්‍රත්‍යක්ෂ කරන ලද ස්වාමීන් වහන්සේලාත් අද ලෝකයේ වැඩ වසනව. -තෙරුවන් සරණයි

    • kumudupinto says:

      ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි. අපගේ යුතුකම එබඳු අවබෝධයට පත් ස්වාමීන් වහන්සේලා ගැන අන් අයට කීම නේද ?

  4. සරත් ගුණතුංග says:

    හරි මහත්මයා, යුතුකම එය බව මම හිස්මුදුනින් පිලිගන්නවා. නමුත් මීට කලින් මට සිදු වූ දේවල් නිසා මම වැඩි පුර දේවල් කියන්න කරන්න යන්නෙ නැහැ. අපේ රටේ තියෙන්නෙ පිරිසිදු, පවිත්‍ර බුදු දහම බව ‘අපේ’ විශ්වාසයයි. අනෙක් ථේරවාද රටවල ඇත්තේ වෙනත් බුද්ධාගමක් බව සාමාන්‍ය විශ්වාසයයි. කාලාම සූත්‍රයේ සඳහන් පරිදි විමසා බලා කරුණු සලකා බැලීම කරන්නෝ අද නැත. අන්තර්ජාලයේ අනෙක් ථෙරවාදී රටවලින් ‘නොමිලයේ’ බුදුදහම මහ ජනයාගේ හිත සුව පිණිස බෙදා හැර ඇත. මම කරුණු සොයා ගන්නේ ඒවායින්. මීට කලින් වෙනත් අදහසක් ප්‍රකාශ කිරීමෙන් මට දොස් පවරා ඇත. ඒ නිසා මම යමක් ලියන්නේ බොහෝ දුරට කරුණු සලකා බැලීමෙන් පසුවයි.

  5. සරත් ගුණතුංග says:

    ඔබට පුද්ගලිකව කරුණු අවශ්‍ය නම්, මට විද්‍යුත් ලිපියක් එවන්න. ‘යටගිය දවස’ හරහා, මගේ පුද්ගලික දත්ත හරහා විද්‍යුත් ලිපිනය සඳහන් කොට ඇත.

Leave a reply to kumudupinto Cancel reply