ප්‍රේමය හා විවාහය

මම East West ආයතනයෙ ඉඳිද්දි ප්‍රේමය හා විවාහය ගැන හුඟාක් කරුණු කතා කළා. ඒ ආයතනයෙ මුල් කාලෙ මාත් එක්ක වැඩ කළා හය හත් දෙනෙක්. රන්සිත්, මිලින්ද, ඉමිටියාස්, භානු, ඉන්ග්‍රිඩ් හා දිපූ. මේ අය මං කියන කතා විස්වාස කළේ නෑ.

මං කීව එක දෙයක් තමයි, මිනිස්සු ගමන් කරන අය. හරියට කෝච්චි වාගෙ. යම් අවස්ථාවක කෝච්චි දෙකක වේගය සමාන වුණහම අපි හිතනවා අපි එක වාගෙ අය කියල. අපි ඉක්මනටම කෝච්චි දෙක අතරෙ දම්වැලක් දාලා කෝච්චි දෙක බැඳ ගන්නවා. ඒත් ටික වෙලාවකට ටික දවසකට ටික කාලයකට අස්සෙ තේරෙනව කෝච්චි දෙකේ වේග අසමාන බව. ඒ මදිවට සමහර විට යන්නෙ දෙපැත්තට. එතකොට අර දම්වැලට මොකද වෙන්නෙ. දිග තියෙනකම් හොඳයි. ඒත් ඊට පස්සෙ ?

අපි අප වටාපිටාවෙ ඉන්න අය දිහා බැලුවොත් ? ඒ අය සන්තෝසෙන්ද ඉන්නෙ ? හුඟාක් වෙලාවට, හුඟාක් අය එහෙම නෑ. ඒත් ඒ හුඟාක් අය විවාහ වෙලා තියෙන්නෙ ප්‍රේම කරලා, දැන හැඳිනගෙන. (තරහ වෙන්න එපා. සමහරවිට මම අපාය විතරක් දැකපු කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. මම කියන්නෙ මගෙ නිරීක්ෂණ.) ඒත් දැන් ඒ ආ ජීවත් වෙන්නෙ දරුවො නිසා ලු.

මෙයට වසර කිහිපයකට පෙර සුප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවක් විවාහ වූ අය ගණනාවකින් අහල තියෙනව ඔබට ලැබුණෙ ලැබිය යුතු නිවැරදි සකරු හෝ සහකාරිය ද කියල. එක්කෙනෙක් හැර අනෙක් හැමෝම කියල තියෙන්නෙ “අපොයි. නෑ” කියලයි. ඇයි ඒ ?

මේ සිදුවීමට මගෙ තියෙන්නෙ වෙනස් අර්ථකථනයක්. මම කලින් කිව්වා වගෙ අපි හැමෝම යම්කිසි අවස්ථාවක ඉන්නෙ එක්කො පුරුෂ මානසික අවස්ථාවක. එක්කෝ ස්ත්‍රී මානසික අවස්ථාවක. හැම විටම ආකර්ෂණය වෙන්නෙ ස්ත්‍රී පුරුෂ ශක්තීනුයි. එහෙම ආකර්ෂණය වෙලා ගැට ගහගත්තායින් පස්සෙ එක්කෙනෙක් හෝ දෙන්නාම මානසික අවස්ථා මාරු කර ගන්නවා. එක්කෙනෙක් විතරක් හුඟාක් කලින් මාරු කර ගත්තොත් නම් විනාසයි. බැරි වෙලා දෙන්නම මාරු කර ගත්තත් මාරු කර ගත්තායින් පස්සෙ ලැබෙන ශක්තීන් දෙක ගැලපෙන්නෙ නැත්නම් ?

මගෙ ගෝලයෙක්, මගෙ ඉස්කෝලෙ, මගෙ උසස් පෙළ ප්‍රතිඵලමයි. මගෙ වෘත්තියමයි. ආදරය කරලා විවාහ වුණා. දැනට අවුරුදු 12ක් ද කොහෙද. චූටි දුවෙකුත් ඉන්නවා. මේ ළඟකදි බිරිඳ කියලා “මට වෙන් වෙන්න ඕනෙය” කියල. කොච්cඅර කිව්වත් අහන්නෙ නැතුව වෙන් වුණා. දුව අම්ම ළඟ. තාත්ත තනියම. මේ දෙන්නම වෘත්තිකයො. කතා කරල බැලුවයින් පස්සෙ මගෙ අදහස වුණේ දෙන්න ළඟ ම තවම තියෙන්නෙ “මම” මිසක් “අපි” නෙවෙයි.

මම විස්වාස කරන දෙයක් තමයි හැබෑ ප්‍රේමය ළඟදි දෙන්නෙක් ඉන්න බෑ කියන එක. ඉන්න ඕනෙ එක්කෙනයි. එකට එක් වූ දෙන්නෙක් එක්කෙනෙක් වාගෙ වැඩ කරන්න ඕනෙ. එහෙම වෙන්න ඕනෙ අවබෝධයට වඩා ආදරයෙන්. ඒත් මං දකින අය ළඟ එහෙම ගතිගුණ නෑ. එහෙම නම් මේ වාගෙ නිගමනවලට එන එකේ වැරැද්දක් නෑ නෙ.

යම් ආයතනයක මා ත් සමඟ වැඩ කළ කෙනෙක් ප්‍රේම කරල විවාහ වුණා. ආයෙත් දෙන්නාම වෘත්තිකයෝ. බැඳල ටික දවසකින් පස්සෙ බිරිඳ කියල තියෙනව “බඳින්න කලින් ඔයා නිකන් ගහක් ගලක් වාගෙ හිටියෙ. මම තමයි ඔළුව ගිනි අරන් වාගෙ දැඟළුවෙ. දැන් ඔයා මොකද මේ ඔළුව ගිනි අරන් වාගෙ. මං වාගෙ තැන්පත්ව ඉන්නවකො.” කියල. ඕක මෙයා මට කිව්වා. මම කිව්ව දෙන්න අගේට තම තමන්ගෙ ශක්තීන් මාරු කරගෙන තියෙනව කියල. කොහොම කොහොම හරි දෙන්න වෙන් වුණා. “පේමතෝ ජායතී සෝකෝ.” හැබැයි මං හිතන්නෙ නම් කාටවත් සෝකයක් ඇතිවෙලා නෑ.

මං හිතන්නෙ නම් මේ ප්‍රේමයේ වැරැද්දක් නෙවෙයි. මේ අය ප්‍රේම කරල නෑ. කරල තියෙන්නෙ අයිති කර ගැනීමක් විතරයි. අයිති වුණායින් පස්සෙ සටන ඉවර වෙලා.

This entry was posted in 10. ප්‍රේමය, 11. Duality, සිංහල. Bookmark the permalink.

4 Responses to ප්‍රේමය හා විවාහය

  1. මම says:

    ඔබගේ කථාව නම් ඇත්ත නමුත් සැබැ ජිවිතයේ යාථාර්තය ඔක තමයි………

  2. Bandaraya says:

    දැන් කාලෙ හුඟක් තියෙන්නෙ ආසාව මුල් කොට ගත් ලිංගික පැත්තට බර වූ ප්‍රේමයක්. ඔය ඔබ කියන ව්දිහේ [උත්තරීතර] ප්‍රේමයක් මට වුනත් මේ දක්වා දැනිල නෑ. මම උනත් වැරදි පැත්තටමයි බර.

    • kumudupinto says:

      මම කියන ප්‍රේමයත් ආසාව මුල් කොට ගත් එකක්. හැබැයි බන්ධනය ඉතා දැඩියි, දෙපැත්තෙන්ම. ඒ එක්කම බැඳිල තියෙන්නෙ කයෙන් විතරක් නෙවෙයි හිතෙනුත්.

  3. අමිල says:

    කණගාටුයි,
    ඹබෙන් තොරව,
    මේ වියමන,
    තව වියන්න.

Leave a comment