මම ගියෙ කොළඹ ආනන්දෙට. මගෙ සාමාන්‍ය පෙළ ගුරුතුමා වුණේ සී. ඇම්. වීරරත්න මහතා. මට එහෙම ගණිත ගුරුවරයෙක් හම්බ වෙලා නෑ. අති විශිෂ්ඨයි. මං හිතන්නෙ අද මගෙ යම් ගණිත හැකියාවක් තියෙනව නම් ඒකට එතුමාත් වග කියන්න ඕනෙ කියලයි.
එතුමා කතා කියන්න හරි දක්ෂයා. වරක් එතුමා ශ්ලෝකයක් කිව්වා රඟ පපා. ඒකෙ නිදාන කතාව මේකයි.
එක මෝඩ මිනිස්සු රැළක් වාසය කරන ගමක් තිබුණා. මේකෙ මේ මිනිස්සු ඇති කරන කුකුල්ලු රෑට නරියෙක් ඇවිල්ලා ගිල දානවා. මේකට උපායක් කල්පනා කළ මේ ගමේ වැසියෝ එක් මිනිසකුට කිව්වා නරියා එන අතරමඟ එක් අතක පොල්ලකුයි අනෙක් අතේ බත් මුලකුයි තියාගෙන මැරිල වගේ ඉන්න කියල. ඒ මනුස්සයත් කිව්ව විදියට වැඩේ කළා. දැන් මේ මිනිස්සුන්ට හොඳටම විස්වාසයි නරියව අල්ල ගන්න පුළුවන් වෙන බවට. ඒ සන්තෝසෙට මිනිස්සු උත්සව ශ්‍රීයෙන් කෑ කෝ ගගහ ප්‍රීතිය සැමරුවා.
නරියා හෙමින් හෙමින් එනවා. එනකොට දැක්කා, මිනිහෙක් පාර මැද මැරිලා. එක් අතක බත් මුලක්. අනෙක් අතේ පොල්ලක්. ගමේ මිනිස්සු කෑකෝ ගගහ නටනවා. ඌ ශ්ලෝකයක් කියල එතනින් මාරු වුණා. මේකයි ශ්ලෝකය.
අපූර්වේ මරණං දිස්වා
හස්තේ දණ්ඩක පිණ්ඩිකා
ග්‍රාමේ ගඩු ගුඩං චෛව
සීඝ්‍ර ගමනං භවිස්සතී
ගණිතය සමඟ ඒ වගෙ රසයක් දෙන්න පුළුවන් ගුරුවරු අද කීයෙන් කී දෙනා ද ඉන්නෙ ?
ශ්ලෝකේ තේරුම ලාවට වගේ තේරෙන්නේ. ශ්ලෝකේ තේරුමත් දැම්මා නම් තමා හොඳ
අපූරු මරණයක් දිස් වේ.
එක් අතක දණ්ඩක්, අනෙක් අතේ බත් පිඬක්
ගමේ මොකක්දෝ කලබලයක්
සීඝ්‍ර ගමනින් මාරු වුණොත් හොඳා
මේ කතාව අපේ තාත්තාත් ඒ දවස් වල අපිට කියා දුන්න රස කතා වලින් එකක්. අපිටත් ඒ ශ්ලෝකය පාඩම් හිටින විදියටම කියලා දුන්නා. අපේ තාත්තාත් ගියේ ඒ විද්‍යාලයටම නිසා සමහරවිට ඒ කියපු ගුරුතුමාගෙන්ම වෙන්න ඇති ඒක ඉගෙන ගන්න ඇත්තේ.
අයියෙ මන් නම් හිතන්නෙ ඔය කියන සර් දැන් අපේ ඉස්කෝලෙ නෑ..
අපොයි, ඒ සර් ජීවිතයෙනුත් සමු අරන් හුඟාක් කල්.